About us

අනුශාසනාව

 

Siri Alanmethiniyaramaya

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසිනි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !

පෙර වැඩ සිටි මහ තෙර පරපුර දැයට දායාද කල සසුන් කෙත පින් බිමක් වූ සිරි ඇලන්මැතිණියාරාමය රැක සුරක්ෂා කර තැබීම මහත් සන්තුෂ්ඨික කරුණකි. සිරි ඇලන්මැතිණියාරාමය මහත් පරිශ්‍රමයකින් ප්‍රතිසංස්කරණය කර නැවත පුනර් ප්‍රබෝධයකට පත් කිරීම අපගේ අතිගරු නායක ස්වාමින්ද්‍රයානන් වහන්සේ වූ පූජනීය තුලාවල මේධාලංකාරතිස්ස කොළඹ සීතාවක දෙපලාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන්ගේ මෙන්ම යෝගියානේ සෝභිත තිස්ස අනුනායක මාහිමිපානන්ගේද අනු දැනුම හා මග පෙන්වීම ද ආදර්ශය ද මත හැකිවී ඇත. මෙම කාර්ය බාධා අභියෝග මැද උකටලීව නොසිට අදිටනින් පිරිපුන්ව ඉටුකල හැකිවිය. අනන්ත සසර දුකින් දුකී දුකට පත් සිත් සතන් අමා දහමින් නිවාලන පිං බිමක අසිරිය සහිත ඇලන්මැතිණියාරාමය මෙත් මාවත පාදාලමින් තවත් සියවස් ගණනාවක් බුදු සසුනට, මහා සංඝරත්නයට සෙවන දියයුතු පුදබිමකි. ලක් ඉතිහාසයේ සුවිශේෂී සටහනක් බවට පත් වෙමින් ඇලන් රෝස් මැතිණිය බුදු සසුනට පූජා කල මෙම පුද බිම, ගිනිගත් නගරය මැද තපෝ සුව සිසිල දනවන හරිත වන මලින් සුසැදි දහම් උයනක් බවට පත්වී තිබේ. එබැවින් මෙම ආරාමය රැක ගැනීමට වෙහෙසව කැපවීම නිරාමිස සතුටින් උතුම් පැවිදි දිවිය තුල මම ලබන මහත් සැනසිල්ලකි.
ශෝභා සම්පන්න චෛත්‍යය රාජයානන් වහන්සේ ද උතුම් විහාර මන්දිරය හා ධර්ම ශාලාව ද ධාතුමන්දිරය ද සැදැහැවත් සිත් සනහමින් ප්‍රතිසංස්කරණය කොට අවසන්ය. එමෙන්ම මහානුභාව සම්පන්න සතර දේවාලය පුනරුදයට පත්කර ඇත්තේය. නිතිපතා ආගමික වත් පිළිවෙත් වලින් සහ මාසික භාවනා වැඩසටහන්, ධර්ම දේශනා සහ මුලුතැන් පූජා ආදී සත් ක්‍රියා වලින් සජීවී වන මහා විහාරයක් බවට ද ධර්ම පිපාසිත ජන හදවත් ධර්මානන්දයෙන් පිබිදුනු පින් බිමක් බවට සිරි ඇලන්මැතිණියාරාම බිම පත්ව ඇත්තේ ආත්ම ලාභයන් නොතකා කල කැපවීම නිසාය. සසර ගමනේ නිවන්සුව පහන් පිණිස මේ පින පූර්ණ කිරීම මාගේ නිශ්ඨාව වී ඇත්තේය. එබැවින් ඇලන්මැතිණියාරාම විහාරස්ථානය රැක ආරක්ෂා කර ගැනීම පරම පැතුමය. එමෙන්ම සුපේක්ෂල පැවිදි පරපුරක් ද සැදැහැගාමී ගිහි පරම්පරාවකට ද මග පෙන්වන පුද භූමියක් ලෙස ඇලන්මැතිණියාරාමය පවත්වාගැනීම එකම අදිටනය.

ලොවු තුරා බුදු සසුන තුල මෙත් සිතින් !

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ.

2014 ඉල් මස පලමුවන ශනි දින සිරි ඇලන්මැතිනියාරමයේ දී


Ven Yogiyanee Anu Nayaka Himi - Copy

පූජ්‍ය යෝගියානේ සෝභිත තිස්ස අනු නායක ස්ථවීර

තෙරුවණ් සරණයි !

බුදු පා පහසින් පාරිශුද්ධ වු සිරිලක් දෙරණ මිහිදු හිමි පහසින් බුදු දහමින් නැවත වර්ණවත් විය.එදා මිහින්තලාවේ වෑහුනු දහම් අමාවෙන් ලක් දන හදවත්පෝෂණය විය.එතැන් පටන් ලක්දිවට උරුමව පැවති හෙල සංස්කෘතිය බොදු සංස්කෘතිය බවට පත් විය. ගමින් ගම බිමින් බිම තැනින් තැන ඉඳි වු මහා පුන්‍ය ක්ෂේත්‍රය ශෝභාමත් වු ලක් දෙරණ අද දිනය දක්වාම ලෝකය හමුවේ බොදු දනන්ගේ වන්දනාවට පාත්‍ර වන්නේය.
බොහෝ සැදැහැ සිත් ඇත්තෝ තම උරුමය බුදු පුදට නතු කරමින් වෙහෙර විහාර ඉදි කලහ.කොළඹ පුරවරයේ උසම බිම කේන්ද්‍ර කරගනිමින් සිරි ඇලන් මැතිනියාරම පුද බිම බිහි වන්නේ එහි ඵලයක් ලෙසිනි.අන් ආගමික භක්තිවන්තයකු වු ඇලන් රෝස් නැමති පිණැති මැතිණියට බුදු දහමේ ආලෝකයෙන් ඇතිවු ශ්‍රද්ධා මහිමය ගෙන හැර පෑවේ සිරි ඇලන් මැතිනියාරාම පුරාණ පුද බිම මීට වසර 133 ට පමණ පෙර බිහි කරමින් 1870 දශකයේ ශොභා සම්පන්න පුද බිමක් වු මෙම අරම කාලයේ අඳුරු වලා වෙන් වැසී ගියේ බොදු දනන් සිත රිදුම් දෙමිනි.1969 වෙනි වර්ෂයේ ආධිපතිත්වයට පත් වු වර්තමාන විහාරාධිපති කොළඹ සීතාවක දෙපලාතේ ප්‍රධාන සංඝ නායක අතිපුජ්‍ය තුලාවල මේධාලංකාර නායක ස්වාමීන් වහන්සේ මෙහි අධිපතිත්වය දරමින් යලිත් සිරි ඇලන් මැතිනියාරාම පුද බිම බබුලුවන්නට දෑරූ උත්සහයක ප්‍රතිඵලය වුයේ උන්වහන්සේගේ කාරුනික ඇරයුමින් අති අතිපුජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සම්ප්‍රාප්තියයි.

සැබෑම විශ්ව කර්ම කටයුතු වලට උපන් හපන්කම් දක්වන ධම්මාලෝක හිමියන් මේ පුද බිම දනන් සිත් පුබුදුවන පහන් සිත් වඩවන සැදැ සිත් උතුරුවන පුදබිමක් බවට පත් කරන්නේ පස් වසක් ගතවන්නට මත්තෙනි.එදා බුදු සමිදු වැඩ සිටිය ඡේතවනාරාම පුද බිම සිහි ගන්වන සිරි ඇලන්මැතිනියරාමය පුද බිම හුදී ජන පහන් සංවේගය උපදවන පිං බිමක් බවට පරිවර්තනය වී තිබීම මගේ හද තුල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවයි.

මා මේ පුද බිමට පා තැබුවේ 1967 වසරේදීය.අද අඳුරු වලාවන් දුරටම ගොසින්ය.සමන් ගිර හිස තුරුලු කරමින් නැගෙන අරුනින් අලෝකවත් වී ඇත.සුමන සාමනේරයන් වහන්සේ සිහිගන්වන කුඩා සාමනෙරයන් වහන්සේලාගෙන් පිරුනු දිවා රාත්‍රී සැදැහැති දනන්ගේ පහසින් ආලෝකමත්වූ බවුන් වඩන සිත් වලට තපෝ වනයක් වු සිරි ඇලන්මැතිනියාරම පුදබිම දිනෙන් දින බුදුගුන විහිදෙන දම් රස වෑහෙන උතුම් බිමක් වේවා !

ඒ වෙනුවෙන් වෙහෙසෙන අතිපුජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිදු කරන මෙහෙවර උන්වහන්සේලාට පාරමිතාවක් වේවා!

පුජ්‍ය යෝගියානේ සෝභිත තිස්ස අනු නායක ස්ථවීර

(අමරපුර මුලවන්සික නිකාය )

2014 ඉල් මස පලමුවනදින සිරි ඇලන්මැතිනියාරමයේ දී.


Ven Thulawala Medhalankara himi - Copy

පුජ්‍ය තුලාවල මේධාලංකාර නායක ස්වාමීන් වහන්සේ

අනන්ත බුදුගුණ ඇත්තාවු ශ්‍රි පාදස්ථානයේ වැදි හිරු කිරණ පහසින් දෝවනය වන අගනගරයේ උසම බිමෙහි බැබලෙන සිරි ඇලන් මැතිනියාරාම පුරාණ විහාරස්ථානය මීට වසර ගනණාවකට පෙරාතුව ඇලන් රෝස් හෙවත් නෙලී චාර්ලට් හෙන්ට්රියේට් ද ඔලිවේරා මැතිනිය විසින් පුජා කරන ලදී.

අති පුජ්‍ය කඳවල සුධම්මා ලංකාර හිමිපාණන් වහන්සේ මෙහි විහාරාධිපතිත්වය උසුලනු ලැබු සේක.

මා සිරි ඇලන් මැතිනියාරම පුරාණ විහාරස්ථානයේ තුන්වන විහාරාධිපති වශයෙන් 1969 සිට මේ දක්වාම වැඩ සිටින මා පන්සල රැක ගන්නට භාරකාරත්වය ගෙන අනන්ත ගැටුම් වධ වේදනා මැද වසර 45 ක් පමණ මේ පුන්‍යා භුමියේම රැදී සිටිමි.

මෙතෙක් ආ ගමන් මගෙහි සියල්ල මාගේ සියැසින්ම දුටුවෙමි. එදාට වඩා අද කිරුළපන ගම මැද විකසිත වූ කුසුමක් මෙන් දකින්නට හැකි සිරි ඇලන්මැතිනියාරාම පුන්‍ය භුමිය දකින කෙනෙකුගේ නෙතට සතුටක් ද වදින කෙනෙකුගේ සිතට සැනසුමක් එක් කරන තරම් ශෝභාව සම්පන්න බව ආගමික හා අන්‍යාගමික සියලු දෙනාටම පසක් වන බව නියතයි.

එම පිබිදීමට හේතු වු මුලික කරුණ ලෙස අතිපුජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ පැමිනීම,කැපවීම,උනන්දුව හා අධිෂ්ඨානය මත සිදුවන වන බවද කෘතඥා පුර්වකව සිහිකරනු කැමැත්තෙමි.

එමෙන්ම අමරපුර මුලවංශික මහා නිකායේ අනුනායක ධුරන්දර යෝගියානේ ජයසුන්දරා රාම විහාරධිපති යෝගියානේ සෝභිත තිස්ස හිමිපානන් වහන්සෙගේ සහයෝගය ද සිහිපත් කරමි.

සසුන්බර බෞධ ජනී ජනයාට මේ පින් බිමෙහි පහස මතු සසර ගමනේ අනෙක විද දුක් කම්කටොලු ජය ගන්නට හේතු වසනා වේවා !

පුජ්‍ය තුලාවල මේධාලංකාර නායක ස්වාමීන් වහන්සේ

2014 ඉල් මස පලමුවනදින සිරි ඇලන්මැතිනියාරමයේ දී.


image

ඇලන් රෝස් මැතිණිය

සිරි ඇලන්මැතිනියාරාම පුරාණයෙන් බිඳක්….

කොළොම් පුරවරයේ උස්ම භූමියේ සුපිහිටි මෙම මනරම් පින් බිම සිරි අලැන්මැතිනියාරාම පුද බිමයි.මීට වසර 133 ට පමණ පෙරාතුව අලැන් රෝස් නොහොත් නෙලී චාර්ලට් හෙන්ට්‍රියෙට් ද ඔලිවෙරා මැතිනිය විසින් එකලදී අංග සම්පුර්ණ විහාරස්ථානයක් ඉදිකරවා පුජා කරන ලදී.